10 Tips for choosing lenses / කාචයක් තෝරාගැනීමේ දී සලකා බැලිය යුතු කරුණු පිළිබඳ වැදගත් ඉඟි 10 ක්

මෑත කාලීන ව බොහෝ කැමරා කාච නිෂ්පාදන සමාගම්, ඩිජිටල් කැමරා සඳහා භාවිත කිරිම පිණිස විශේෂ කාච වර්ග නිපදවනු දක්නට ලැබේ. මෙම ඩිජිටල් කාච හා සම්ප්‍රදායික කාච අතර වෙනසක් තිබේ. සාමාන්‍යයෙන් ඩිජිටල් තාක්‍ෂණයේ දී භාවිත වන ඩිජිටල් ආලෝක සංවේදකවල ඇති ගැඹුර නිසා, ඒවායින් උපරිම ආරෝපණයක් ඇති කිරිමට නම් ආලෝකය ලම්බකව පතිත විය යුතු යි. මෙම ආලෝක කිරණ පතනය වන කෝණය විශාල වන විට රූපරාමුව වටේ අඳුරුවීම (Vignetting) වර්ණ නිවැරදි ව නොලැබීම (Discoloration) සහ අඳුරු තිත් (Noise) ස්වභාවය වැඩි විය හැකියි. ඩිජිටල් කැමරා සඳහා නිපදවන කාචවල නව සැකැස්ම මගින් වැඩි ආලෝක ප්‍රමාණයක් ගොනු කර සංවේදකය වෙත ලම්බකව පතිත කරවන අතර, එමගින් උපරිම රූපමය තත්ත්වයක් ලබා දෙයි.

මෙවැනි කැමරා කාච, විශේෂයෙන් ඩිජිටල් කාච තෝරාගැනීමේ දී සොයා බැලිය යුතු ප්‍රධාන කරුණු 10ක් දැන් සලකා බලමු.

1.  ගෙවන මුදලට සරිලන රූපමය තත්ත්වය  

සෑම විට ම ඔබට දැරිය හැකි මට්ටමේ මිල අධික උසස් කාච මිල දී ගැනීමට උනන්දු වන්න. මිල අධික කැමරා බඳක් සමග මිල අඩු බාල කාචයක් මිල දී ගන්නවාට වඩා මිල අධික හොඳ කාචයක් සමග තත්ත්වයෙන් මඳක් අඩු කැමරා බඳක් මිල දී ගැනීම වඩා හොඳ ආයෝජනයක් විය හැකියි. ඡායාරූපයක් නිර්මාණයේ දී ආලෝකය උපරිම තත්ත්වයකින් සංවේදකය වෙත රැගෙන යන්නේ කාචය වන අතර, කොතරම් උසස් මට්ටමේ සංවේදකයක් වෙතට වුවත් ලැබෙන ආලෝකය නිසියාකාර ව නොලැබේ නම් එහි අවසන් ප්‍රතිඵලය ඵල රහිත එකක් විය හැකියි. නිවැරදි දත්ත රහිතව, පරිගණයක් මගින් වුවත් ඔබට කිසිවක් කළ නොහැකි වනු ඇත.

2.  යුහුමු කාච (Zoom Lenses)

යුහුමු කාච රූප සංරචනයේ දී ඉතා වැඩි නම්‍යශීලි භාවයක් පෙන්වයි. මෙවැනි කාච භාවිතයේ දී අවශ්‍ය පරාසයක නාභිදුරක් අවශ්‍ය විටෙක ලබාගැනීමට ඇති හැකියාව වඩාත් පහසුවක් සලසයි. නමුත් යුහුමු කාච තෝරාගැනීමේ දී, නාභිදුර අන්ත දෙක ඉතා වැඩි යුහුමු කාච (Extreme Zooms) තෝරාගැනීම එතරම් නුවණට හුරු නොවේ.
උදා : ලෙස මිමී 18-300 හෝ මීමී 50-500 වැනි කාච සැලකිය හැකියි. ඊට හේතුව මෙවැනි කාච මගින් ලැබෙන පරිහරණ පහසුවට වඩා රූපයේ තත්ත්වය වැදගත් වන බැවිනි.

3.  ප්‍රශස්ත (මූලික) කාච (Prime lenses)

ස්ථිර නාභිදුරක් සහිත (Fixed focal length) කාච මෙම ගණයට වැටේ. භාවිතයේ ඇති පහසුව යුහුමු කාච තරම් නැති වුවත්, ඒවායින් ලබාදෙන රූපමය තත්ත්වය වඩා ඉහළ මට්ටමක පවතී. මෙය සිදුවන්නේ කාචය හරහා යන ආලෝක කිරණවලට පසුකර යායුතු වන වීදුරු කාච කොටස් ප්‍රමාණය සාපේක්‍ෂ ව අඩුවීම මෙන් ම කාච කොටස් චලනය වන ප්‍රමාණය (Movement of Lens Elements) සීමාසහිත වීම නිසා යි. නමුත් මෙම තත්ත්වය ඉතා අධික දුර රූපී (Extreme telephoto) හා ඉතා වැඩි පුළුල් කෝණී (Ultra wide angle) කාච සම්බන්ධයෙන් වෙනස් විය හැකියි.

4.  විකෘතිතා අඩු (Low-dispersion) වීදුරුවලින් තැනූ කාච 

විකෘතිතා අඩු විදුරු යොදා තනනු ලබන කාච මගින් වර්ණ අපේරණ (Chromatic aberration) වැනි කාච දෝෂ අවම කරනු ලබයි. මෙම වර්ණ අපේරණයේ දී සිදුවන්නේ එක් එක් තරංග ආයාමයන්ගෙන් යුක්ත වර්ණ ආලෝක කිරණ කාචය හරහා ගමන් කිරීමෙන් පසු එක ම තලයක නාභිගත නොවීමයි. මෙම දෝෂ අවම කිරීම මගින් මෙවැනි කාච අවසාන පිළිබිඹුවේ තීක්‍ෂණ භාවය වැඩි කරදෙන අතර, නිවැරදි වර්ණ ද ලබා දෙයි.

5.  ස්වයංනාභිගත වීම (Auto Focus)

නාභිගත වීමේ වේගය ඔබට ඉතා වැදගත් සාධකයක් නම් කාචයක් ස්වයං නාභිගත වීමේ වේගය පිළිබඳ ඉතා හොඳින් සොයා බැලිය යුතුයි. කාචයක් මිල දී ගැනීමට පෙර මෙවැනි කරුණු සොයා බැලිය යුත්තේ සමහර කාච වර්ගවල ස්වයං නාභිගතවීමේ වේගයන් සාපේක්‍ෂ ව අඩු විය හැකි නිසා යි.

6.  අභ්‍යන්තර නාභිගත වීම (Inner Focusing / IF)

IF කාච නාභිගත වීමේ දී කාච බැරලයේ චලනය වීමක් හෝ පිටතට නෙරා ඒමක් දක්නට නොලැබේ. නමුත් සාමාන්‍ය කාච නාභිගත කිරීමේ දී කාච බැරලය පිටතට නෙරා එන ලෙස සකස් කර තිබේ. සාපේක්‍ෂව ප්‍රමාණයෙන් විශාල වේ.

7.  නිර්ගෝලීය කාච කොටස් සහිතවීම (Aspherical lens elements / ALEs) 

‘කොමා’ දෝෂය ඇතුළුව වෙනත් කාච දෝෂ ඇති නොවන සේ ඉතා උසස් රූපමය තත්ත්වයක් ලබාගැනීමට මෙවැනි නිර්ගෝල පෘෂ්ට සහිත කාච කොටස් යොදාගැනීම නිසා ඉඩ සැලසේ. ඉහත දෝෂ බොහෝ විට පුළුල් කෝණී කාච සමග විශාල කාච විවර යොදාගත් විට බහුල ව ඇති විය හැකියි.

8. උපරිම කාච විවර අගය / කාච වේගය (Maximum Aperture / Lens Speed) 

අනාවරණය සැකසීමේ දී යම් තාක් දුරට බලපාන කරුණක් ලෙස උපරිම කාච විවර අගය හැඳින්විය හැකි ය. උදාහරණ ලෙස අඩු ආලෝක තත්ත්වයක් ඇති විට මඳ වේගී කාචයක් (උපරිම විවර අගය f 4, 5.6 හෝ එයට වැඩි අගයක් ගන්නා කාචයක්) යෙදූ විට අපට අවශ්‍ය අරමුණක චලනය නිසල කිරීමට හෝ, සෙලවීම රහිතව ඡායාරූප ගැනීමේ ඉඩකඩ මදිවීමට ඉඩ තිබේ. අනෙක් අතින් බැලු විට විශාල උපරිම කාච විවරයක් සහිත (ඉතා අඩු f අංකයක් සහිත) දුර රූපී කාචයක් යනු ඉතා විශාල බර කාචයක් වන නිසා හැසිරවීමට අපහසු විය හැකි ය. මේ නිසා කාචයක් තේරීමේ දී තමාගේ අවශ්‍යතාව කුමක් ද යන්න අනුව උපරිම කාච විවරය හා එහා මෙහා ගෙන යාමේ හා පරිහරණයේ පහසුව පිළිබඳව ද සලකා බැලිය යුතු වේ.

9.  යුහුමු කාචවල උපරිම කාච විවර අගය 

සමහර යුහුමු කාචවල උපරිම කාච විවරය එක් එක් නාභිදුරෙහි දී වෙනස් විය හැකි ය (Variable Aperture Zoom Lens). මෙම ක්‍රමවේදය යොදාගැනීම මගින් කාචයේ ප්‍රමාණය සහ බර අඩු කරගැනීමට හැකි වෙයි. නමුත් නැවතත් අනාවරණය සැකසීමේ දී, මෙවැනි කාච නිසා ඔබට යම් යම් අපහසුතා හටගනු ඇත. මේ නිසා හැකි සෑම විටක ම උපරිම කාච විවරය සඳහා ස්ථිර අගයක් ඇති යුහුමු කාච (Fixed Aperture Zoom Lens) තෝරාගැනීම වඩාත් යෝග්‍ය වේ.

70-300 mm Variable Aperture Zoom Lens – 70 mm f 4.5, 300 mm f 5.6
70-200 mm Fixed Aperture Zoom Lens – 70 mm f 2.8, 200 mm f 2.8

10.  කාච ආවරණය (Lens hood)

ඉතා දීප්තිමත් ආලෝක ප්‍රභවයක සිට සෘජු ව පැමිණෙන ආලෝක කිරණ කාච පද්ධතියේ ඉදිරි කාච කොටස් මත පතිතවීමෙන් අනතුරුව ඒවා කාච බඳ තුළ පරාවර්තනය වීම සිදුවේ. එම ආලෝක කිරණ ඡායාරූපය මත වලයාකාර හෝ බහුඅස්‍රාකාර ආලෝක ලප ලෙස සටහන් වන අතර, ඒවා ඔබගේ රූපයේ සැකැස්මට හෝ කලාත්මක භාවයට කිසිදු පිටිවහලක් ලබා නොදෙයි. මෙම තත්වය අවම කරගැනීම සඳහා කාචයට ඉදිරියෙන් කාච ආවරණයක් යෙදීම වඩාත් සුදුසුයි. මේ සඳහා එක් එක් කාචය සඳහා එහි නිෂ්පාදකයා අනුමත කරන කාච ආවරණ යොදාගැනීම වඩාත් යෝග්‍ය වේ.

error: Content is protected !!