Digital Photography / ඡායාරූප ශිල්පය කෙරෙහි ඩිජිටල් තාක්‍ෂණයේ බලපෑම

ලොව මෙතෙක් දක්නට ඇති ප්‍රථම ඡායාරූපය ලෙස සැලකෙන Niepce ගේ ඡායාරූපය 1826 දී සටහන් කරගත්තකි. එදා මෙදා තුර වසර 200 කට ආසන්න කාලයක් තුළ ඡායාරූප ශිල්පය අතිවිශාල දියුණුවක් ලබා තිබේ.

මුල් කාලීන ව රසායනික ක්‍රමයකට වර්ණ රහිත ව කලු සුදු පිළිබිඹු ලෙස රූප සටහන් කරගත් ඡායාරූප ශිල්පය පසුව වර්ණක (Colour dye) යෙදූ ස්තර සහිත පටල භාවිත කරනු ලබන වර්ණ ඡායාරූප ශිල්පය බවට පත්විය. එය මේ වන විට ඉලෙක්ට්‍රොනික ක්‍රමයට පිළිබිඹු ග්‍රහණය කර තැන්පත් කර ගන්නා ක්‍රමවේදයක් බවට පත්ව තිබේ. වසර 175 කට ආසන්න කාලයක් පුරා සෙමෙන් සෙමෙන් වැඩි දියුණු වෙමින් පැමිණි ඡායාරූප ශිල්පය පසුගිය දශකය හෝ දෙක තුළ ඩිජිටල් තාක්‍ෂණය හඳුන්වාදීමත් සමග හටගත් පරිනාමණීය ලක්‍ෂණ කෙරෙහි අවධානය යොමු කරමු. ඡායාරූප ශිල්පයේ දී යම් අරමුණක් එහි යථාර්ථවත් පිළිබඹුවක් බවට පත්වන ආකාරය සලකා බලමු. මෙහි දී සාම්ප්‍රදායික පටල තාක්‍ෂණය මගින් යම් අරමුණක් ආලෝකය උපයෝගී කරගනිමින් සටහන් කරගන්නේ මෙසේ ය.

මෙසේ ආලෝක සංවේදී රසායනික අඳුනක් ගල්වා ඇති පටලය මතට ආලෝකය පතිත වූ විට එම අඳුනෙහි යොදා ඇති ආලෝක සංවේදී රසායනික සංයෝගය වන රිදී හේලයිඩ සංයුතියේ යම් වෙනස්වීමක් සිදු වේ. එම වෙනස්වීම පියවි ඇසට නොපෙනෙන නිසා අදෘශ්‍යමාන නැතහොත් ගුප්ත ප්‍රතිබිම්බයක් ලෙස හඳුන්වනු ලබයි. මෙම අදෘශ්‍යමාන ප්‍රතිබිම්බය පසුව රසායනික ද්‍රාවණ කීපයක් යොදාගනිමින් පියවර කීපයක පිරිසැකසුම් ක්‍රියාවලියකට භාජනය කරනු ලබයි. අවසානයේ දී පියවි ඇසට පෙනෙන දෘශ්‍යමාන ප්‍රතිබිම්බයක් ලැබෙන අතර මෙය මුල් අරමුණෙහි ප්‍රතිවිරුද්ධ නැතහොත් ඍණ ප්‍රතිබිම්බයකි. අවසානයේ දී පටලය ඍණ ඵලකයක් (Negative) බවට පත්වන අතර, එය රූප තැන්පතු මාධ්‍ය ලෙස ද ක්‍රියාත්මක වෙමින් ලැබෙන ඍණ ප්‍රතිබිම්බය ගබඩා කිරීම ද සිදුකරනු ලබයි. මෙම ඍණ ඵලකය යොදාගෙන මුද්‍රණ කඩදාසියක් අනාවරණය කිරීමෙන් මුල් අරමුණට සමානකමක් ඇති ධන ප්‍රතිබිම්බයක් ලබාගත හැකි ය. මෙය අප දකින ඡායාරූපයයි. මෙම සම්ප්‍රදායික ඡායාරූප ශිල්පයයේ දී යෙදාගන්නා ආලෝක සංවේදී රසායනික අඳුනක් සහිත පටලය වෙනුවට ඩිජිටල් තාක්‍ෂණයේ දී යොදාගනුයේ ආලෝක සංවේදී ඉලෙක්ට්‍රොනික උපාංගයකි. මෙය අලෝක සංවේදී ඩයෝඩ විශාල සංඛ්‍යාවකින් සමන්විත සංවේදකයක් (Sensor) ලෙස හැඳින්විය හැකි ය. මෙවැනි සංවේදකයක් මත ආලෝකය පතිත වුණු විට එහි ඇති එක් එක් ඩයෝඩ මගින් ලැබෙන ආලෝකයේ තීව්‍රතාව අනුව විද්‍යුත් සංඥාවක් (Electronic Signal) නිකුත් කරනු ලබයි. මෙම ක්‍රියාවලිය පහත දැක්වෙන ලෙස පැහැදිලි කළ හැකි ය.

ඩිජිටල් කැමරාවේ ඇති ආලෝක සංවේදී උපාංගය වන සංවේදකය මතට ආලෝකය පතිත වුණු විට එමගින් විද්‍යුත් සංඥාවක් නිපදවනු ලබයි. මෙම සංඥාව ඇනලොග් (Analog) ආකාරයේ වන අතර ඉන්පසු එම සංඥා ඇනලොග් – ඩිජිටල් පරිවර්තකය (Analog to Digital Converter) නම් වූ උපාංගය වෙත ගෙනයයි. එහි දී තැනෙන ඩිජිටල් සංඥාව ඉන්පසු ගෙනයන්නේ පිළිබිඹු සකසනය (Image Processor) වෙතටයි. මෙහි දීකැමරාවට කවා ඇති දත්ත සමග සංසන්දනය කරමින්, කැමරාවේ සකස් කර ඇති පිළිබිඹු ක්‍රමවේදවලට (Image Settings) අනුරුපී වන අවසන් පිළිබිඹුව නිර්මාණය කරනු ලබයි.

මෙම පිළිබිඹු යම් අංකිත පිළිබිඹු ගොනු ආකාරයක් (Image file format) ලෙස තැනෙන අතර, එය කැමරාව තුළ ඇති මතක ගබඩාවක (Inbuilt Storage) හෝ වෙනත් මතකපතක (Memory card) තැන්පත් වීම හා ගබඩාවීම සිදු වේ. ඒ හා සමගාමී ව එම තැනෙන පිළිබිඹුව ඩිජිටල් කැමරාවේ රඳවා ඇති LCD තිරය මත ද යම් සුළු කාලයක් තුළ දර්ශනය වීමක් ද සිදු වේ. මෙය එක් ආකාරයකින් අපගේ ඇස මගින් යම් දර්ශනයක් දැකීමත්, එය මොළය මගින් රූපයක් ලෙස ගොඩනැංවීමත් සමග බොහෝ සෙයින් සමාන වේ. ඇස හා මොළයෙහි ක්‍රියාකාරීත්වය මෙසේ දැක්විය හැකියි.

මෙලෙස පටල මත තැනෙන පිළිබිඹු මුද්‍රණ කඩදාසියක් මත මුද්‍රණය කර නැරඹිය හැකි අතර, ඩිජිටල් ක්‍රමයට තැන්පත් වන පිළිබිඹු කැමරාවේ LCD තිරය මගින් හෝ පරිගණක තිරයක් මගින් නැරඹිය හැකියි. එමෙන් ම එම පිළිබිඹු ද අවසානයේ මුද්‍රණ කඩදාසියක් මත මුද්‍රණය කර නැරඹිය හැකි ය. මේ ආකාරයට මොළය මගින් තනා මතක ගබඩාවෙහි තැන්පත් කෙරෙන පිළිබිඹු ද අවශ්‍ය යම් විටෙක ආවර්ජනය මගින් මනෝමය රූපයක් ලෙස නැවත දැකීමේ හැකියාවක් ඇත. නමුත් මෙවැනි මනෝමය රූප පියවි ඇසට දර්ශනය වන ආකාරයේ භෞතික පිළිබිඹු බවට පත් කිරීමේ හැකියාවක් මිනිසාට තවම ලැබී නැත. අනාගතයේ එය ද සිදුවිය නොහැකියැයි කිසිවෙකුට පැවසිය නොහැකි ය.

ආලෝක සංවේදී උපාංග ඡායාරූප ශිල්පයේ ආරම්භක අවධියේ සිට මේ දක්වාත් පවතින කලු සුදු ඡායාරූපකරණය සඳහා යොදා ගන්නා පටලයට ආලෝකයේ වර්ණයන් සටහන් කරගැනීමේ හැකියාවක් නැති අතර එම එක් එක් වර්ණය වෙනස් තීව්‍රතාවන්ගෙන් කලු සුදු හා අළු පැහැයේ ප්‍රභේද ලෙස සටහන් කරගැනීම සිදු වේ. එමෙන් ම ඩිජිටල් සංවේදකය ද තනිව ගත් විට වර්ණ සඳහා සංවේදී නොවේ (Colorblind). එමෙන් ම පසුකාලීන ව කලු සුදු අඳුන්වලට වර්ණක මිශ්‍ර කර ආලෝකයේ මූලික වර්ණ 03 වන රතු, කොළ සහ නිල් වර්ණයන්ට සංවේදී අඳුන් ස්තර 03 ක් යෙදූ වර්ණ පටලපටි නිපදවන ලදී. මේ ආකාරයට වර්ණාන්ධ ඩිජිටල් සංවේදකය මත යම් රටාවකට යෙදූ රතු, කොළ සහ නිල් පැහැති පෙරණ ස්තරයක් මගින් එම සංවේදකය ද වර්ණ සඳහා සංවේදී කරනු ලබයි. මෙහි දී එක් එක් ආලෝක සංවේදී ඩයෝඩයට ඉහළින් එක් වර්ණයක පෙරණයක් දක්නට ඇති අතර, මෙය යම් රටාවකට අනුව යොදා ඇත. එම රතු, කොළ සහ නිල් පෙරණ යොදා ඇති ආකාරය කැමරාවේ පරිගණකයේ ඇති අතර යම් ඩයෝඩයක් මගින් විද්‍යුත් සංඥාවක් ලබාදුන් විට එම කුමන වර්ණ ආලෝකයක් මගින් ලබාදුන් සංඥාවක් ද යන්න ඒ අනුව සොයා ගනී. මේ ආකාරයට මුළු සංවේදකයේ ම ඇති ඩයෝඩ මගින් ලැබෙන සංඥා දත්ත යොදාගෙන අවසාන පිළිබිඹුව තැනීම සිදු වේ.

සංවේදකය මත යම් රටාවකට යෙදූ රතු, කොළ සහ නිල් පෙරණ ස්තරය

සාමාන්‍යයෙන් පටලයක් පිරිසැකසුමෙන් පසු සෑදෙන පිළිබිඹුවක් තැනී ඇති කුඩා අංශු කණිකා ලෙස (Grains) හඳුන්වයි. මේවා කලු ලෝහමය රිදී කණිකා වේ. ඒ ආකාරයට ම ඩිජිටල් පිළිබිඹුවක් තැනී ඇති කුඩා ම ඒකකය පික්සලයක් (Pixel) ලෙස හඳුන්වයි. මෙය Picture Elements යන්න කෙටි කර තනා ගත්තක් වන අතර, රූපයක අඩංගු වන පික්සල් සංවේදකයේ අඩංගු ආලෝක සංවේදී ඩයෝඩවලට (Photo Sensitive diodes) අනුරූපී වේ. මෙම පික්සල් විවිධ හැඩයන්ගෙන් දක්නට ලැබෙන අතර ඒවා සමචතුරස්‍රාකාර වීම අත්‍යවශ්‍ය නොවේ.

මෙලෙස ඩිජිටල් කැමරාවල යොදාගන්නා ආලෝක සංවේදකය එහි ක්‍රියාකාරීත්වය හා සැකැස්ම අනුව ප්‍රධාන ආකාර 03 කින් නිපදවනු දක්නට ලැබේ.

01. CCD සංවේදක

02. CMOS සංවේදක

03. FOVEON සංවේදක

01. CCD සංවේදක

Charge Coupled Device යන නාමයෙන් හැඳින්වෙන මෙම CCD සංවේදකය පළමු ඩිජිටල් කැමරාව සඳහා යොදාගත් සංවේදක ආකාරයයි. මෙම සංවේදක ආකාරය නිපදවීම සඳහා CMOS සංවේදකය නිෂ්පාදනයට යන වියදමට වඩා වැඩි වියදමක් හා විශේෂ තාක්‍ෂණයක් යොදාගැනීමට සිදුවීම නිසා මිලෙන් යම් තරමක වැඩි අගයක් ගනී. එමෙන් ම විද්‍යුත් ශක්ති පරිභෝජනය ද CMOS වලට වඩා මදක් වැඩියි. නමුත් ලබාදෙන රූපයේ තත්වය අතින් CCD සංවේදක, CMOS වලට වඩා ඉදිරියෙන් සිටී. මෙයට හේතුව සංවේදකයේ එක් පික්සලයක් සැලකූවිට එයින් වැඩි ප්‍රමාණයක් ආවරණය වන ලෙස ආලෝක සංවේදී ඩයෝඩ පිහිටා ඇති නිසා ය.

02. CMOS සංවේදක

Complementary Metal Oxide Semiconductor යන නාමයෙන් හඳුන්වන CMOS සංවේදකය නිපදවනු ලබන්නේ සාමාන්‍ය IC (Integrated Circuit) තැනීම සඳහා යොදාගන්නා තාක්‍ෂණය යොදා ගැනීමෙන් නිසා එවැනි සංවේදක නිපදවීමට වැයවන මුදල හා තාක්‍ෂණය CCD සංවේදක හා සාපේක්‍ෂව බලන විට අඩු ප්‍රමාණයක් ගනී. මේවායේ විදුලි පාරිභෝජනය ද සාපේක්‍ෂ ව අඩු නමුත් ලබාදෙන රූපයේ තත්වය CCD මගින් ලබාදෙන රූපවලට වඩා මදක් අඩු ය.

CCD හා CMOS සංවේදක මගින් ආලෝකය ග්‍රහණය කරගැනීම

මෙයට හේතු වී ඇත්තේ සංවේදකයේ එක් පික්සලයක් තුළ ආලෝක සංවේදී ඩයෝඩයක් සමග සංඥා වැඩිදියුණු කරන ඇම්ප්ලිෆයරයක් (Amplifier) යොදා තිබීමයි. මෙම CMOS සංවේදකය Canon සමාගම විසින් නිරමාණය කරන ලද්දකි.

මෙමගින් ෆොටෝ ඩයෝඩය සඳහා ලැබෙන ඉඩ යම් ප්‍රමාණයකින් අඩුවීම මගින් එක් ෆොටෝ ඩයෝඩයකට ග්‍රහණය කරගත හැකි ආලෝක ශක්තිය සාපේක්‍ෂ ව අඩුවීම මෙම රූපයේ තත්වය අඩුවීම කෙරෙහි බලපායි. නමුත් වැඩිදියුණු කරන ලද ඇනලොග් – ඩිජිටල් පරිවර්තක (AD Converter) සහ පිළිබිඹු සකසන (Image Processor) යොදාගැනීම මගින් ලොව මෙතෙක් නිෂ්පාදිත ඉතා උසස් තත්වයේ ඩිජිටල් කැමරා (High-end Digital Camera) බොහොමයක් CMOS සංවේදක යොදා නිපදවා තිබේ. මෙම සෑම ආකාරයක ම සංවේදක සැලකූ විට ඒවායෙහි අඩංගු ෆොටෝ ඩයෝඩ වටා විද්‍යුත් පරිවාරක මායිමක් දක්නට ඇති අතර සෑම ඩයෝඩයකට ම ඉහළින් මූලික වර්ණ 03 න් එකකට අදාළ වර්ණ පෙරණයක් ද, Optical Low Pass පෙරණයක් ද, අධෝරක්ත කිරණ (Infrared rays) කපාහරින පෙරණයක් සහ ක්‍ෂුද්‍ර කාච (Micro Lens)  යොදා ඇත.

03. FOVEON සංවේදක

මෙය මූලික වර්ණ 03 ට සංවේදී ස්තර 03 ක් ලෙස එක මත එක සැකසූ CMOS ආකාරයේ සංවේදක වර්ගයකි. සිග්මා සමාගම මුලින් ම මෙය නව කැමරාවක් සඳහා හඳුන්වා දුන් අතර මෙතෙක් එය බහුල ව භාවිතයට ගනු ලබන්නේ නැත. නමුත් මෙය CCD 03 ක් සහිත ව ඉතා උසස් අයුරින් චලන රූප සටහන් කරගන්නා වීඩියෝ කැමරාවල යොදා ගන්නා 3 CCD තාක්‍ෂණයට සමාන තාක්‍ෂණයකි. මෙම Foveon සංවේදකවල ඇති ආලෝක සංවේදක ස්තර 03 න් ඉහළින් ම ඇති ස්තරය නිල් වර්ණයට සංවේදී වන අතර, දෙවැනි ස්තරය කොළ වර්ණයටත්, පහළ ම ස්තරය රතු වර්ණයටත් සංවේදී වේ. මෙහි දී වර්ණ පටලවල සිදුවන ආකාරයට එක් එක් වර්ණ සංවේදක ස්තරය හරහා අනෙක් වර්ණ විනිවිද යෑම මගින් වර්ණ 03 ට අදාළ ආලෝක කිරණ කිසිදු බාධාවකින් තොර ව සටහන් වීම සිදු වේ. මෙවැනි සංවේදකයක් මගින් ඉතා ඉක්මනින් වඩාත් නිවැරදි ආකාරයට සියලු ම වර්ණයන් ග්‍රහණය කරගත හැකි වීම වඩාත් වාසිදායක ය.

විවිධ පරිමාණයේ කැමරා (Camera Formats)

මුල් කාලයේ දී කලු සුදු තාක්‍ෂණය භාවිත කරන ලද ඔබ්ස්කියුරා ආකාරයේ කැමරාවල යොදාගනු ලැබූයේ තඹ වැනි ලෝහ, හම් හෝ වීදුරු වැනි ඝන ද්‍රව්‍යවලින් නිපදවූ ආලෝක සංවේදී අඳුන් ගැල්වූ ස්තරයකි. මෙය පසුකාලීන ව සෙලියුලොයිඞ්වලින් නිපදවූ නම්‍යශීලී පටල බවට පත්විය. මේ සෑම ආකාරයක දී ම යොදා ගත් අඳුන් ස්තර ඒ ඒ කැමරා මාදිලි අනුව විවිධ ප්‍රමාණ ගත්තේ ය. එනම්, මෑතක් වනතුරු ම චිත්‍රාගාර (Studio) තුළ භාවිත වූ ඔබ්ස්කියුරා ආකාරයේ චිත්‍රාගාර කැමරා සඳහා අඟල් 10 x 12, 8 x 10, 5 x 7 වැනි විශාල ප්‍රමාණයේ පටල තහඩු (Sheet film) යොදාගනු ලැබූ අතර, තාක්‍ෂණික කැමරා (Technical Camera) ක්‍ෂෙත්‍ර කැමරා (Field Camera) ආදියේ අඟල් 5 x 4 ප්‍රමාණයේ පටල තහඩු යොදා ගනියි. මෙවැනි කැමරා විශාල පරිමාණයේ (Large Format) කැමරා ලෙස හඳුන්වයි. එමෙන් ම මධ්‍යම ප්‍රමාණයේ (Medium Format) කැමරා ද වර්තමානයේ දීත් භාවිතයේ ඇත.

විශාල පරිමාණයේ තාක්‍ෂණික කැමරාවක්

මීට අමතර ව මි.මී. 35 ප්‍රමාණයේ හා ඊට වඩා කුඩා ප්‍රමාණයේ පටල යොදාගන්නා කැමරා කුඩා ප්‍රමාණයේ (Small Format) කැමරා ලෙස හඳුන්වනු ලබයි. මේ ආකාරයට ඩිජිටල් තාක්‍ෂණය යොදාගෙන නිපදවනු ලබන කැමරාවල ද මෙලෙස විශාල ප්‍රමාණයේ (Large Format Digital Camera), මධ්‍යම ප්‍රමාණයේ (Medium Format Digital Camera) සහ කුඩා ප්‍රමාණයේ (Small Format Digital Camera) දක්නට ලැබේ. විශාල ප්‍රමාණයේ සහ මධ්‍යම ප්‍රමාණයේ ඩිජිටල් කැමරා මිලෙන් ඉතා අධික වීම හේතුවෙන් එවැනි කැමරා භාවිතය ඉතා ම අඩු ප්‍රතිශතයක් වන අතර කුඩා ප්‍රමාණයේ කැමරාවල යොදා ගන්නා සංවේදකවල විවිධ විශාලත්‍වයන් දක්නට ලැබේ.

මෙහි දී මි.මී. 35 පටලයේ රූප රාමුවක ප්‍රමාණය වන මි.මී. 24 x 36 ප්‍රමාණයට සමාන සංවේදක සහිත ඩිජිටල් කැමරා (Full Frame Digital Camera) සහ ඊට මදක් කුඩා APS-C (Advanced Photo System) ප්‍රමාණයේ සංවේදක සහිත ඩිජිටල් කැමරා ද සාමාන්‍ය මි.මී. 35 ප්‍රමාණයේ SLR (Single Lens Reflex) ඩිජිටල් කැමරා මාදිලි ලෙස නිපදවනු දක්නට ලැබේ. මෙවැනි APS-C ප්‍රමාණයේ සංවේදක බොහොමයක් මි.මී. 22.2 x 14.8 සිට මි.මී. 24 x 16 අතර ප්‍රමාණයක පිහිටනු දක්නට ලැබේ.

මධ්‍යම පරිමාණයේ ඩිජිටල් කැමරාවක්

මීට අමතර ව සංගත ඩිජිටල් කැමරා (Compact Digital Camera)  සඳහා අඟල් 1/1.6 සිට 1/1.8 දක්වා ප්‍රමාණවල කුඩා සංවේදක යොදාගනු ලබයි. එමෙන් ම දක්නට ලැබෙන කුඩා ම ප්‍රමාණයේ ආලෝක සංවේදක හමුවන්නේ ජංගම දුරකථනවල අඩංගු කර ඇති ඩිජිටල් කැමරාවල ය.

විවිධ ප්‍රමාණයේ ඩිජිටල් කැමරා සංවේදක

ආලෝක සංවේදී කුඩා අංශු

පටල අඳුනක් සෑදී ඇත්තේ ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍යවලිනි. කලු සුදු හා වර්ණ පටල ඡායාරූප ශිල්පයේ දී යොදා ගත් එම රසායනික ද්‍රව්‍ය වනුයේ රිදී හේලයිඩ සංයෝගයකි. එනම් රිදී (Ag) සමග හැලජන් (Cl, Br, I) කාණ්ඩයේ මූලද්‍රව්‍ය සංයෝග කර ලබාගත්තකි. මෙවැනි රිදී හේලයිඩ අඳුන තුළ ස්ඵටික (Crystals) ලෙස දක්නට ඇති අතර ඒවා අහඹු ලෙස පැතිරී පවතී. මෙවැනි රිදී හේලයිඩ ස්ඵටිකවල කුඩා ම ස්ඵටිකයක් මයික්‍රෝමීටර් 0.03 (0.03 µm) වන අතර ඒවා මඳවේගී අධික විභේදනයක් සහිත පටලවල (High resolution film) යොදාගනී. එමෙන් ම X කිරණ පටල (X ray film) වැනි අධිවේගී පටලවල මයික්‍රො මීටර් 2.5 (2.5 µm) පමණ ප්‍රමාණයේ ස්ඵටික දක්නට ලැබේ. වෙනත් පටලවල මේවාට අතරමැදි ප්‍රමාණයේ ස්ඵටික දක්නට ඇත.

ඩිජිටල් සංවේදකයක අඩංගු වන ආලෝක සංවේදී කුඩා ම අංශුව පික්සලයක් වන අතර. එය මගින් නැනෝ මීටර් 400 (400 nm) පමණ වන විස්තාරයක් සහිත දෘශ්‍ය ආලෝක තරංගයක් ග්‍රහණය කරගත යුතු බැවින් එම ප්‍රමාණය වත් අවම වශයෙන් එහි පැවතිය යුතු ය. ඒ අනුව එක් සංවේදකයක් තුල අඩංගු කළ හැකි උපරිම පික්සල් සංඛ්‍යාව බොහෝ විට රඳා පවතී. එය පික්සල් මිලියන 18 ක උපරිමයක් වුව ද, අද වන විට වෙනත් දියුණු තාක්‍ෂණයන් උපයෝගී කරගනිමින් පික්සල් මිලියන 40 කට වැඩි ප්‍රමාණයක් අඩංගු කරන ලද ම්.මී. 35 ප්‍රමාණයට සමාන ඩිජිටල් සංවේදක නිපදවා තිබේ. මෙලෙස එක් සංවේදකයක අඩංගු පික්සල් මිලියනයක් මෙගා පික්සල් 1 ක් (Mega Pixel) ලෙස හඳුන්වන අතර මෙගා පික්සල් 40 ක් යනු පික්සල් මිලියන 40 කි.

මුල් කාලීන ව බොහෝ ඩිජිටල් කැමරා නිෂ්පාදන සමාගම් තම කැමරාවල සංවේදකයේ අඩංගු කළ හැකි පික්සල් ප්‍රමාණය ඉහළ දැමීමට උත්සාහ කළ අතර වැඩි මෙගා පික්සල් ප්‍රමාණයක් සහිත කැමරා වඩාත් උසස් ප්‍රතිඵල ලබාදෙන බව එවැනි සමාගම්වල වෙළඳ ප්‍රචාරණ මගින් හඟවන ලදී. එහි යම්තාක් දුරට සත්‍යතාවක් තිබුණත්, සංවේදකයේ ප්‍රමාණය, ඇනලොග් ඩිජිටල් පරිවර්තකය සහ පිළිබිඹු සකසනය වැනි දේවල තාක්‍ෂණය වැඩි දියුණු කිරීම මගින් වඩාත් උසස් තත්වයේ පිළිබිඹු ලබාගත හැකි බව මේ වන විට තහවුරු වී ඇත. මීට අමතරව එක් එක් කැමරා බඳෙහි ස්වභාවය හා භාවිත කරන කාචයේ තාක්‍ෂණය අනුව ද ලබාදෙන පිළිබිඹුවේ ගුණාත්මක භාවය තීරණය වේ.

උසස් තත්වයේ වෘත්තීය කැමරා (High-end Professional Camera)  

පටල කැමරා සලකන විට ද සරල පෙට්ටි කැමරා (Box Camera) තාක්‍ෂණය අනුගමනය කරන සංගත කැමරාවල සිට, දුරමානන කැමරා (Rangefinder), ද්විකාච ප්‍රතිඡායා කැමරා (Twin Lens Reflex – TLR) සහ ඒකකාච ප්‍රතිඡායා කැමරා (Single Lens Reflex – SLR) දක්වා වූ පරාසයක කැමරා දක්නට ලැබේ. පසුකාලීනව බහුල ලෙස භාවිත වූ SLR මාදිලියේ කැමරා වූයේ මි.මී. 35 පටල යොදන කැමරා ය. මෙවැනි කැමරා ද ඉතා සරල ආධුනික (Simple Amateur) කැමරාවල සිට උසස් තත්වයේ වෘත්තීය (High-end Professional)  කැමරා දක්වා පරාසයක පවතී.

මේ ආකාරයේ කැමරාවල දක්නට ඇති ප්‍රධාන වෙනස්කම් අතර එම කැමරා බඳෙහි දක්නට ඇති ලක්‍ෂණ කිහිපයක් වේ. එනම් බඳ නිෂ්පාදනය කර ඇති ලෝහ වර්ගය, බඳෙහි ප්‍රමාණය හා බර, බඳෙහි අන්තර්ගත කර ඇති විශේෂ අනාවරණ ක්‍රමවේද හා අනාවරණ මැනීම සඳහා යොදාගන්නා ක්‍රමවේද, බහු අනාවරණ හැකියාවන් ආදී ලක්‍ෂණ බොහෝමයක් මේ අතර වේ. මේ ආකාරයට ම ඩිජිටල් කැමරාවල ද සරල ආධුනික මට්ටමේ සිට උසස් වෘත්තීය මට්ටම දක්වා වූ ඩිජිටල් SLR කැමරා මාදිලි දක්නට ලැබේ. ඒවා අතුරින් ඉතා සරල ම ඩිජිටල් SLR කැමරා Entry Level DSLR ලෙස ද, ඊට මඳක් උසස් අතරමැදි තත්වයේ කැමරා Mid-range DSLR ලෙස ද, වෘත්තීය තත්වයේ කැමරා Professional DSLR ලෙස ද, උසස් වෘත්තීය තත්වයේ කැමරා High-end Professional DSLR ලෙස ද වර්ග කරනු ලබයි. මෙයින් Mid-range DSLR කැමරා ද මට්ටම් කිහිපයකින් දක්නට ලැබෙන අතර එවැනි සමහර කැමරා ආධුනික (Amateur) මට්ටමේ ඒවා වන අතර තවත් සමහර ඒවා උසස් ආධුනික තත්වයේ (Advanced Amateur) ද, ඊටත් වඩා වෘත්තීය මට්ටමට ආසන්න වන කැමරා අර්ධ වෘත්තීය කැමරා (Semi Professional) ලෙස ද හඳුන්වයි. වෘත්තීය තත්වයේ කැමරා බොහෝවිට උසස් තත්වයේ වෘත්තීය කැමරා මිල දී ගැනීමට හැකියාවක් නැති, එහෙත් උසස් වෘත්තීය කැමරාවක ක්‍රියාකාරීත්වය අවශ්‍ය කරන වෘත්තීය ඡායාරූප ශිල්පීන් සඳහා නිපදවනු ලබන අතර බොහෝ විට එම උසස් කැමරාවල දක්නට ලැබෙන ලක්‍ෂණ සියල්ල ම පාහේ මෙම කැමරාවල ද දක්නට ලැබේ. බඳෙහි ප්‍රමාණය හා යම් යම් කුඩා වෙනස්කම් කීපයක් පමණක් මගින් ඒවා වෙනස් වේ.

උසස් තත්වයේ වෘත්තීය ඒකකාච ප්‍රතිඡායා ඩිජිටල් (High-end Professional DSLR) කැමරාවක්

error: Content is protected !!