10 Digital Image File Formats / ඩිජිටල් පිළිබිඹු ගොනු ආකාර 10 ක් හා ඒවායේ විවිධ භාවිත

ඩිජිටල් පිළිබිඹුවල අගට යෙදෙන විවිධ ගොනු ආකාරයන්ගේ කෙටි යෙදුම් ඔබ කෙතෙක් වත් දැක ඇතුවාට සැක නැත. එම කෙටි නාමවලින් හැඳින්වෙන්නේ කුමක් ද? ඒ එක එක අතර ඇති වෙනස්කම් මොනවාද? සහ ඒවා උපරිම ප්‍රතිඵලදායක අන්දමින් භාවිත කළ යුත්තේ කෙසේ ද? යන්න පිළිබඳ විමසා බලමු.

සාමාන්‍යයෙන් පිළිබිඹු ගොනුවක් ආකාර දෙකක දත්ත උපයෝගී කරගෙන තැනිය හැකියි. ඉන් එක් ආකාරයක් පික්සල් (කුඩා ඒකක) විශාල ප්‍රමාණයක් එකතුවීමෙන් තැනී ඇති අතර, අනෙක් ආකාරය දෛශික (Vector) නැතහොත් ඉරි මගින් තැනී ඇත. මෙම දෙවර්ගය ම තිරයක් මත දර්ශනය වීමේ දී ඒවා රාස්ටරිකෘත කර (rasterized) පික්සල් ආකාරයට දක්වනු ලැබේ. වර්තමානයේ ඩිජිටල් කැමරා සමග ප්‍රධාන ගොනු ආකාර 3 ක් භාවිත වනු දක්නට ලැබේ. ඒවා නම් RAW, Tiff (Tagged Image File Format) සහ JPEG (Joint Photographic Experts Group) වේ. මෙම ත්‍රිත්වයට අමතරව තවත් ගොනු ආකාර කීපයක් නොයෙක් පිළිබිඹු හැසිරවීම සඳහා යොදාගනී. ඒවායින් වඩාත් ජනප්‍රිය ගොනු ආකාර 10 ක් පිළිබඳ මෙහි දී සොයා බැලේ.

1. RAW

මෙම RAW ආකාරයෙන් පිළිබිඹු තැන්පත් කිරීමේ දී ග්‍රහණය කර ගන්නා දත්ත, කිසිදු වෙනස් කිරීමකට භාජනය නොකර ඒ ආකාරයෙන් ම තැන්පත් කරගනී. මෙම RAW ගොනු ආකාරය උසස් තත්ත්වයේ ඩිජිටල් කැමරාවල භාවිත වන ගොනු ආකාරයක් වන අතර, මෙමගින් රූප තැන්පත් කරන්නේ හානි රහිත හැකිළීමක් සහිත (Lossless compression) ගොනු ලෙස වේ. මෙම ගොනුවක විශාලත්වය සාමාන්‍යයෙන් TIFF ආකාරයේ ගොනුවකට වඩා තරමක් අඩු ය. එමෙන් ම මෙම RAW ගොනු ආකාරය සෑම කැමරා නිෂ්පාදකයකු සඳහා ම සම්මතයක් නොවන අතර, මෙම ගොනු සමහර පිළිබිඹු සංස්කරණ මෘදුකාංග හා ග්‍රැෆික් නිර්මාණ මෘදුකාංග මගින් විවෘත කළ නොහැකි වීම ද අවාසියකි. නමුත් සමහර උසස් තත්ත්වයේ මෘදුකාංග මගින් යම් යම් කැමරා නිෂ්පාදකයන්ගේ RAW ආකාර ගොනු සංස්කරණය කළ හැකි වේ.

2. TIFF

මෙම TIFF (Tagged Image File Format) ගොනු ආකාරය බොහෝ විට පූර්ව මුද්‍රණ කටයුතු (Pre press work) සඳහා දැනුදු භාවිත වන ජනප්‍රිය ආකාරයකි. TIFF ගොනු ආකාරය හානි සහිත හෝ හානි රහිත (Lossy or Lossless) හැකිළීම් සහිත විය හැකියි. සමහර TIFF ආකාර ද්වි මට්ටම් (අළු පැහැ රහිත කලු සුදු) පිළිබිඹු සඳහා ඉතා හොඳ හානි රහිත හැකිළීමක් ලබා දෙයි. අනෙක් අතට මෙම TIFF ආකාර ගොනු ඉතා වැඩි හැකියාවකින් යුක්ත වන අතර, සමහර අවස්ථාවල පික්සලයකට බිට් 16 ක් (එනම් බිට් 48 ක වර්ණ පරාසයක්) දක්වා වූ අධික වර්ණ පරාසයක් (Colour depth) සහිතව පිළිබිඹු ගොනු සංරක්‍ෂණය කිරීමට අවස්ථාව ලබා දෙයි. නමුත් අනෙක් ගොනු ආකාර භාවිත වන වෙනත් කැමරා මගින් බිට් 8 ක වර්ණ පරාසයක් පමණක් ලබා දෙනු දක්නට ලැබේ. මෙම TIFF ආකාරයේ ගොනුවක් අනෙක් ගොනුවලට සාපේක්‍ෂ ව ප්‍රමාණයෙන් විශාල වන නිසා (එනම් වැඩි මෙගාබයිට් [MB] ප්‍රමාණයකින් යුක්ත නිසා) බොහෝ විට ඉහළ අන්තයේ (High end) ඩිජිටල් කැමරා කිහිපයක පමණක් මෙම ගොනු ආකාරය භාවිත වේ. එමෙන් ම අන්තර්ජාලය සමග ගනුදෙනු කිරීමට TIFF යොදා ගත නොහැකියි. එමෙන් ම එක ම තත්වයේ RAW ගොනුවකට වඩා එහි TIFF ගොනුව දෙගුණයක සිට 5 ගුණයක විශාලත්වයකින් යුක්ත විය හැකියි.

3. JPEG

මෙම JPEG (Joint Photographic Experts Group) ආකාරයේ ගොනු ඉතා වැඩි වශයෙන් ඩිජිටල් කැමරාවල භාවිත වන අතර, මෙම ගොනු ආකාරය හානි සහිත හැකිළීම් ලබාදෙයි. සෘජුව පවසනවා නම්, JPEG යනු ගොනු ආකාරයක් ලෙස හඳුන්වනවාට වඩා එය පිළිබිඹු හැකිළීමේ සම්මතයක් (Image Compression Standard) ලෙස සැලකීම වඩාත් යෝග්‍ය වේ. බොහෝ කැමරා මගින් නිර්මාණය කරන JPEG ආකාරයේ ගොනු JFIF (JPEG File Interchange Format) හෝ EXIF (Exchangeable Image File) යටතට ගැනෙන අතර, මෙමගින් පිළිබිඹු දත්ත (Image data) හා කැමරාවේ ක්‍රමවේදයන් (Camera Settings) දෘඩාංග හා මෘදුකාංග (Hardware & Software) අතර හුවමාරු කිරීම සඳහා වැදගත් මෙහෙවරක් ඉටු කරයි. මෙම JPEG ආකාරය එක් වර්ණයකට බිට් 8 ක එනම්, රතු, කොළ හා නිල් සඳහා බිට් 24 ක වර්ණ පරාසයක් ලබා දෙයි. JPEG මගින් මුල් පිළිබිඹු දත්ත සඳහා ලබා දෙන හැකිළීම් මගින් රූපයේ තත්වයට එතරම් හානියක් නොවන නමුත්, නිතර නිතර වෙනස් කිරීම් සිදුකරමින් නැවත නැවත තැන්පත් කිරීමේ දී, ඒ සෑම වරක ම නැවත හැකිලීම් සිදුවන බැවින් පරම්පරාගත අවපාතනයකට (Generational degradation) ලක්වේ.

RAW Image
JPEG Image

4. GIF

මෙම GIF (Graphic Interchange Format) ආකාරයේ ගොනුවක එක් පැලටයකින් වර්ණ 256 ක් පමණ උත්පාදනය කළ හැකි අතර, මෙම ආකාරය බොහෝ විට එතරම් විශාල වර්ණ පරාසයකින් සමන්විත නොවන ග්‍රැෆික් නිර්මාණ ගබඩා කිරීමට යොදා ගනු ලබයි. මේවා සරල රූප සටහන්, හැඩතල හා කාටූන් රූප ගබඩා කිරීමට වඩාත් යෝග්‍ය වේ. මෙම ගොනු ආකාරය පිළිබිඹු සජීවීකරණය (Image Animation) සඳහා උපයෝගී කර ගත හැකි අතර, මෙය වර්තමානයේ දී ඒ සඳහා බහුල ව යොදා ගනී. නවීන ජංගම දුරකථන ආදියෙහි සජීවීකරණය කරන ලද පිළිබිඹු මෙම GIF ගොනු ලෙස ඉතා හොඳින් ක්‍රියා කරන අතර, සියුම් විස්තර සහිත පිළිබිඹු සඳහා එතරම් යෝග්‍ය නොවේ.

5. BMP

BMP (Bit Mapped) ගොනු ආකාරය මයික්‍රෝසොෆ්ට් වින්ඩෝස් පරිගණක ක්‍රියා පද්ධති (Windows operating system) විසින් ග්‍රැෆික් පිළිබිඹු හැසිරවීම සඳහා යොදා ගනී. මේවා හැකිලීමෙන් තොර වන අතර ගොනුවක සාපේක්‍ෂ විශාලත්වය ඉතා වැඩි ය. මෙම BMP ගොනු භාවිත කිරීමෙන් සැලසෙන වාසි වන්නේ, ඒවා පුළුල් පරාසයක මෘදුකාංග මගින් හැසිරවිය හැකි වීමත්. එහි සරල භාවයත් සහ වින්ඩෝස් පේන්ට් (Paint) වැනි මෘදුකාංග මගින් ඒවා පාලනය කළ හැකි වීමත් නිසා ය. නමුත් වින්ඩෝස් හැර වෙනත් පරිගණක ක්‍රියා පද්ධති සමග භාවිත කළ නොහැකිවීම අවාසියකි. මෙම ගොනු ප්‍රමාණයෙන් විශාල නිසා, ගොනු හුවමාරුව (File transfer) වැනි දේට යොදා ගත නොහැකි ය. මෙවැනි පිළිබිඹු පරිගණක පසුබිම් තිර (Backgrounds & Wall Papers) සඳහා පහසුවෙන් යොදාගත හැකි ය. පරිලෝකනය (Scan) කරන ලද පිළිබිඹු තැන්පත් කිරීමට ද BMP ගොනු යොදාගැනේ.

6. PNG

PNG (Portable Network Graphics) ගොනු ආකාරය GIF පරම්පරාවෙන් පැවත එන්නෙක් වන අතර, PNG ආකාර ගොනුවක් මගින් වරණ 256 වෙනුවට මිලියන 16 ක වර්ණ පරාසයක් හඳුනාගනු ලබයි. මෙම හානි රහිත PNG ගොනු ආකාර රූප සංස්කරණයට හොඳින් ගැලපේ. ඉතා පැරණි තාලයේ වෙබ් අඩවි මෙම PNG ආකාරයට සහයක් නොදැක්වුවත්, Internet Explorer 7 මුදාහැරීමෙන් පසු නවීන වෙබ් අඩවි සියල්ලක් ම පාහේ PNG ගොනු ආකාරය භාවිත කරයි.

7. EPS

EPS (Encapsulated Post Script) යනු දෛශික ආකාරයේ ග්‍රැෆික් පිළිබිඹු තැන්පත් කිරීමට යොදා ගනු ලබන සම්මත ගොනු ආකාරය වන අතර, Adobe Illustrator වැනි මෘදුකාංග මගින් තැන්පත් කරන EPS ආකාරය ඉතා වැදගත් වේ. මෙවැනි EPS ගොනුවක් මගින් සම්පූර්ණ ග්‍රැෆික් නිර්මාණයක් විස්තර කරනු දැකිය හැකියි. එමෙන් ම EPS ගොනුවක් ද Post Script ආකාරයේ ම වන අතර, එය වඩාත් සුනම්‍ය එවැනි ගොනු ආකාරය ලෙස ද හැඳින්විය හැකි ය. මෙම EPS ගොනුවක් තුළ එහි ඇති පිළිබිඹුවේ කුඩා පූරව දර්ශනයක් (Preview) ඇති අතර එමගින් එම පිළිබිඹුව යම් තරමකට පැහැදිලි කර දැක්වීමක් සිදු වේ.

8. PSD

PSD (PhotoShop Document) යනු ඉතා ම ජනප්‍රිය ෆොටෝෂොප් ගොනු ආකාරයක් වන අතර මෙමගින් ද්විමාන තලයක් මත පික්සල් 30,000 ක් පමණ හැසිරවිය හැකි වේ. මෙම ගොනු ආකාරයට යම් පිළිබිඹුවක භාවිත කර ඇති විශේෂ වර්ණ පිළිබඳ තොරතුරු ග්‍රහණය කරගැනීමේ හැකියාව ද ඇත. මෙම PSD ගොනු ආකාරය ෆොටෝෂොප් නම් වූ එක් මෘදුකාංගයක් මගින් පමණක් හැසිරවිය හැකි වීම යම් තරමක අවාසියකි.

9. JPEG 2000

මෙය නවීන JPEG ආකාරය වන අතර, මෙවැනි ගොනු කියවීමට විශේෂිත Plug-in අවශ්‍ය වේ. මෙම ගොනු ආකාරය නවීන වෙබ් අඩවි ග්‍රැෆික් සඳහා ද, දත්ත හැසිරවීම සඳහා ද යොදාගන්නා අතර නවීන ජංගම දුරකථන නිෂ්පාදනවල ද යොදාගනු දක්නට ලැබේ.

10. WBMP

මෙය රැහැන් රහිත (wireless) ගොනු සම්ප්‍රේෂණ ක්‍රමවේදය සඳහා පැරණි ජංගම දුරකථනවල යොදාගන්නා ආකාරයකි. රැහැන් රහිත භාවිතයන් ක්‍රමයෙන් වැඩි වන විට එහි වේගය පවත්වාගෙන යාමට මෙම WBMP ගොනු ආකාරය සහනයක් ලබා දෙයි. කෙසේ වෙතත් මෙය කලුසුදු ආකාරයේ තොරතුරුවලට පමණක් සීමා වී ඇත.

error: Content is protected !!