Flash Filling / පවතින ආලෝකය සමග ක්‍ෂණිකාලෝක භාවිත කිරීම

ඡායාරූප ගැනීමේ දී, විශේෂයෙන් පුද්ගල ඡායාරූප ගැනීමේ දී අරමුණ හා පසුබිම අතර ආලෝක තත්වයේ අධික වෙනසක් පවතින අවස්ථාවල එම තත්වය සමබර කරගනිමින් ඡායාරූප ගැනීම ඉතා ප්‍රවේසමෙන් කළ යුතු කාර්යයකි. මෙහි දක්වන උදාහරණයේ දී සන්ධ්‍යාවේ හිරු බැස යන අවස්ථාවේ අහසේ හා වලාකුළුවල ස්වභාවය සමග නිරූපිකාවකගේ ඡායාරූපයක් ගැනීමේ කාර්යය කෙසේ සිදු කළේ දැයි පැහැදිලි කෙරේ.

මෙහි 1, 2 හා 3 ඡායාරූප ගැනීම සඳහා ISO වේගය 400 ක් හා විවර අගය f/5.6 ලෙස යොදාගෙන ඇත. අරමුණට හා පසුබිමට අවශ්‍ය විවිධ අනාවරණයන් සකස් කර ඇත්තේ ද්වාර වේගය වෙනස් කිරීමෙනි.

අංක: 1 රූපයේ නිරූපිකාව නිවැරදි ලෙස අනාවරණය කර ඇති අතර, එහි දී ඇය දෙසට කැමරාව යොමු කර අනාවරණය මැනගැනීමෙන් මෙය සිදු කර ඇත. මෙහි දී පසුබිම ඉතා විශාල ලෙස අධි අනාවරණයට ලක් වී ඇත. මෙහි දී යොදාගත් ද්වාර වේගය තත්පරයෙන් 1/10 කි.

අංක: 2 රූපයේ පසුබිම නිවැරදි ලෙස අනාවරණය කර ඇති අතර, එහි දී පසුබිම දෙසට කැමරාව යොමු කර අනාවරණය මැනගැනීමෙන් මෙය සිදු කර ඇත. මෙහි දී නිරූපිකාව ඉතා විශාල ලෙස මන්ද අනාවරණයට ලක් වී ඇත. මෙහි ද්වාර වේගය තත්. 1/125 කි. මෙවැන්නක් කැලිසේයා (Silhouette) රූපයක් ලෙස ද හැඳින්විය හැකි ය.

Using Fill Flash with Available Light

අංක: 3 රූපයේ පසුබිම නිවැරදි ලෙස අනාවරණය කිරීමට අවශ්‍ය ද්වාර වේගය වන තත්. 1/125 යොදාගෙන ඇති අතර, කැමරාගත විශේෂිත ක්‍ෂණිකාලෝකයක් (TTL Flash) මගින් නිරූපිකාව නිවැරදි ලෙස අනාවරණය කිරීමට අවශ්‍ය ආලෝකය සපයා ඇත. මෙහි දී අරමුණ කුඩා වීම හා පසුබිම අරමුණට ඉතා ඈතින් පිහිටීම හේතුවෙන් ක්‍ෂණිකාලෝකය මගින් f /5.6 ට අදාළ ආලෝකයක් නිකුත් කළහොත් අරමුණට වැඩි ආලෝක ප්‍රමාණයක් ලැබී එය අධි අනාවරණයට ලක් විය හැකි නිසා ක්‍ෂණිකාලෝකයෙන් නැවතුම් -1 වන f /4 ට අදාළ  (TTL Mode) ආලෝකයක් නිකුත් කර ඇත. මෙය ඡායාරූපගත කරන අරමුණ හා පසුබිම අනුව මඳ වශයෙන් වෙනස් වීමේ හැකියාවක් ඇත. මෙවැනි ඡායාරූප ගැනීමේ දී ක්‍ෂණිකාලෝකයෙන් නිකුත් කරනු ලබන ආලෝකය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වඩාත් වැදගත් වේ.

මේ සඳහා කැමරාවේ ම සවිකර ඇති ක්‍ෂණිකාලෝකයක් (Built in Flash) හෝ පිටතින් සවි කරන ක්‍ෂණිකාලෝකයක් (External Flash) යොදාගත හැකි අතර, ඒවා ඉහත දක්වා ඇති ලෙස නිසියාකාරව හැසිරවීමෙන් වඩාත් උසස් ප්‍රතිඵල ලබාගත හැකි වේ.

error: Content is protected !!