Auto Exposure Compensation / ස්වයංක්‍රීය අනාවරණ හානිපූරණය

අංකිත කැමරා භාවිත කර ඡායාරූප ගැනීමේ දී කැමරාවේ ඇති අර්ධ ස්වයංක්‍රීය අනාවරණ ක්‍රමවේද (Semi Auto Exposure Modes) වන විවර ප්‍රමුඛතා (Aperture Priority Mode – A / Av), ද්වාර වේග ප්‍රමුඛතා (Shutter Priority Mode – S / Tv) හෝ ක්‍රමලේඛගත ස්වයංක්‍රීය (Programme Auto Mode – P) අනාවරණ ක්‍රමවේද භාවිත කිරීමේ දී කැමරාව විසින් පවතින ආලෝකය මැන ස්වයංක්‍රීය ව ද්වාර වේගය, විවරය හෝ මේ සැකසුම් දෙක ම සකස් කරනු ලබයි.

නමුත් යම් යම් රූපරාමුවල අන්තර්ගත අරමුණුවල දීප්තිමත් භාවය (Brightness) සහ පසුබිමේ ආලෝක තත්වය අනුව ලබාදෙන අනාවරණය ඉතා ම නිවැරදි හෝ භාවිත කරන්නා හට අවශ්‍ය ප්‍රතිඵලය ලබා නොදෙන්නක් විය හැකි ය. මෙවැනි අවස්ථාවක ලබාදෙන ඡායාරූපයේ ගහණතාව (Density) හෝ දීප්තිමත් භාවය අඩු වැඩි කිරීම සඳහා මෙම අනාවරණ හානිපූරණ ක්‍රමවේදය යොදාගත හැකි වේ. එයට හේතුව මෙවැනි අවස්ථාවක දී විවරය හෝ ද්වාර වේගය වෙනස් කිරීමෙන් අනාවරණය වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බැවිනි. එසේ වන්නේ අප විවරය හෝ ද්වාරය වෙනස් කරන විට ඊට සමානුපාතිකව කැමරාව ස්වයංක්‍රීයව අනාවරණය නිවැරදි මට්ටමට ගෙන ඒම නිසා වේ.

එසේ ම මෙම අඩු හෝ වැඩි කිරීම අනාවරණ අගය (Exposure Value) නැතහොත් නැවතුම් (Stop) අගයෙන් 1/3 ප්‍රමාණවලින් කළ හැකියි. (අවශ්‍ය විටෙක මෙය නැවතුම් 1/2 කොටස්වලින් අඩු වැඩි කිරීමට ද කැමරාවේ පහසුකම් සලසා ඇත.) එනම් +0.3, +0.7, +1.0, +1.3 යනා දී ලෙස රූප රාමුවේ අනාවරණය වැඩි කළ හැකි අතර, එලෙස ම -0.3, -0.7, -1.0, -1.3 ආදී ලෙස අනාවරණය අඩු කළ හැකියි. ඒ අනුව ස්වයංක්‍රීය ව කැමරාව මගින් අනාවරණය සැකසීම සිදු කළත් භාවිත කරන්නාගේ අභිමතය පරිදි එහි යම් යම් වෙනස්කම් සිදු කිරීමට ද හැකියාවක් පවතී.

විවර ප්‍රමුඛතා අනාවරණ ක්‍රමවේදය යොදා කැමරාවෙන් ලබා දුන් නිවැරදි අනාවරණයට අනුව ගත් ඡායාරූපය (ඉහළ) හා අනාවරණ අගය +1.3 ක් ලෙස වැඩි කිරීමෙන් ගත් ඡායාරූපය (පහළ)

මේ ආකාරයට ම කැමරාගත ක්‍ෂණිකාලෝකය හෝ පිටතින් සවිකරන ක්‍ෂණිකාලෝකය මගින් නිකුත් කරනු ලබන ආලෝකය ද මෙලෙස ක්‍ෂණිකාලෝක අනාවරණ අගය හානිපූරණය කිරීම (Flash Exposure Compensation) මගින් අඩු වැඩි කර ගැනීමේ හැකියාව ද පවතී.

error: Content is protected !!